What‘s New:
You are here:  Home

ආර්ථිකය - යම් අභියෝග

පී. ටී. සිරිසේන - 2012-10-02

මෑත වර්ෂවලදී රටේ අපනයන සහ ආනයන වෙළඳාමේ හැසිරීම සමස්ථ වශයෙන් රටට යහපත් නොවීය.  මෙම අංශ දෙකම වැඩිවෙමින් තිබුණද ආනයන ප්‍රමාණය වඩාත් වේගයෙන් වැඩිවීම නිසා එහි සමස්ථ ප්‍රතිඵලය වශයෙන් වෙළඳ ශේෂයේ හිඟයක් ඇතිවිය.  වර්ෂ 2000 දී වෙළඳ ශේෂ හිඟය ඩොලර් බිලියන 1.8 ක් වූ අතර 2010 දී එය ඩොලර් බිලියන 4.8 ක් විය.  2011 දී ඉමහත් අර්බූදකාරී තත්වයක් ඇති කරමින් එය ඩොලර් බිලියන 9.7 දක්වා ඉහල ගියේය. එය දළ ජාතික නිශ්පාදිතයෙන් 16.4% ක් වැනි ඉතා අධික අගයක් දක්වා අයහපත් ලෙස වෙනස් විය.  මෙම තත්වය යටතේ විදේශ සංචිත ප්‍රමාණය ඉතා සීඝ්‍රයෙන් අඩුවී ඩොලර් බිලියන 5.9 දක්වා පහත වැටුණි.

මෙය වහාම පිළියම්  යෙදිය යුතු තත්වයක් විය.  ආනයන අධෛර්යමත් කිරීම සහා මෝටර් රථ ආනයන බද්ධ විශාල ලෙස ඉහල නැංවූයේ මෙම පසුබිම යටතේය.  තවද 2012 අයවැය ලේඛණය මගින් රුපියලේ විදේශ අගය අඩු කිරීම මගින් ආනයන අධෛර්යමත් කිරීමට කටයුතු යොදන ලදී.

මූල්‍ය ප්‍රතිපත්තිය සම්බන්ධයෙන්ද ප්‍රබල පියවර ගැනීමට මහ බැංකුවට සිදුවිය.  මහ බැංකුව විසින් බලාපොරොත්තු වන මූල්‍ය ඉලක්ක ලඟාකර ගැනීමට අපහසු වන ආකාරයෙන් වාණීජ බැංකු ණය ප්‍රසාරණය වීමක් සිදුවූ බැවින් එවැනි අවස්ථාවලදී මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරනු ලබන ඉතාමත් ප්‍රබල මූල්‍ය ප්‍රතිපත්ති උපකරණයක් ලෙසින් මේ වසරේ මාර්තු මාසයේදී වාණීජ බැංකු ණය වර්ධනය සීමා කිරීමේ නියෝගයක් නිකුත් කෙරිනි.  මේ අනුව 2012 දෙසැම්බර්  31 දින දක්වා වාණීජ බැංකුවල ණය වැඩි කල හැකි වන්නේ  2011 දෙසැම්බර් 31 දින තිබුණු ණය ප්‍රමාණයට වඩා 18% කින් පමණි.  තවද  ප්‍රමාණාත්මක වශයෙන් එක බැංකුවකට වැඩිකල හැකි ණය ප්‍රමාණය රුපියල් මිලියන 800 කට සීමා කලයුතු විය.  එහෙත් යම් බැංකුවක් විදේශ මුදල්වලින් ණය ලබාගෙන ඒවා දේශීය වශයෙන් ණය දෙන්නේ නම් එවැනි බැංකුවලට 23% දක්වා ණය ප්‍රමාණය වැඩි කිරීමටත් උපරිම සීමාව මිලියන 1000 දක්වා වැඩි කිරීමටත් අවසර ලැබිණි.

මෙවැනි ප්‍රතිපත්ති අනුගමනය කිරීම නිසා ආර්ථිකයේ විවිධ අංශයන්ට අපහසුකම් ඇතිවීම නොවැළැක්විය හැකිය.  ආනයන වියදම් වැඩිවීම නිසා රටතුල උද්ධමනකාරී තත්වයක් වර්ධනය වීමට ඉඩ ඇති අතර නව ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා ණය පහසුකම් ලබාගැනීමට බලාපොරොත්තු වූ අයට ඒවා නොලැබී යා හැකිය.  කෙසේ වුවද කෘෂිකර්මය සඳහා ප්‍රදානය කරනු ලබන ණය ප්‍රමාණයෙහි අයහපත් බලපෑමක් ඇතිවිය නොහැක්කේ වාණීජ බැංකුවල මුළු ණය ප්‍රමාණයෙන් 10% ක් කෘෂිකර්මය සඳහා ප්‍රදානය කළ යුතු බවට මහ බැංකුව නියෝග කර ඇති බැවිනි.

සාර්ව ආර්ථික ඉලක්කයන් කරා ලඟාවීම මෙම ප්‍රතිපත්තිවල අරමුණ බැවින් කෙටි කාලීන කැපකිරීම් කිරීමට සිදුවේ.

පසුගිය සැප්තැම්බර් 12 වැනිදා මහ බැංකුව විසින් නිකුත් කරනු ලද නිවේදනයකින් පෙන්වා දී ඇත්තේ අපේක්ෂිත ප්‍රතිඵල ලැබෙමින් පවතින බවය.  වෙළඳ ගිණුමේ හිඟය පසුගිය මාස 17 තුල පැවති අඩුම අගය වාර්තා වී තිබේ.  පසුගිය ජූලි මාසය දක්වා මාස 12 තුල ආනයන වියදම 24.9% කින් අඩුවී තිබේ.  එම කාලය තුල මෝටර් රථ ආනයන සඳහා වියදම 62.4% කින් අඩුවී තිබේ.  ලෝකයේ පවතින දුර්වල ඉල්ලුම් තත්වයන් යටතේ  අපනයනයන්හි වැඩිවීමක් සිදුවී නැත.

[ Back ]

Add comment


Security code
Refresh

Copyright © 2024 Sri Lanka Economic Association. All Rights Reserved.
Designed by Pooranee Inspirations (Pvt) Ltd.
Last Update: 09-04-2024.